ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ ජීවිත ගමනේ සටහන්

ශ්‍රී දේවමිත්ත ධම්මපාල හිමිගේ අවසාන පැය කීපය

කල්කටාවේ මහා බෝධි සමාගමේ ප්‍රධාන ලේකම් බ්‍රහ්මචාරි දේවප්‍රිය වලිසිංහයන් 1933 අප්‍රේල් මස 29 දින අපවත් වු අනගාරික ධම්මපාලයන් පිළිබඳව කළ ප්‍රකාශයේ සිංහල අනුවාදය.

(1933 - ජූලි - සැප්තැම්බර් මහා බෝධි සඟරාවෙන්)

“ මලේ මරණය ඉක්මන් වේවා! ශාන්ති නායක බුදු පියාණන් වහන්සේගේ ධර්මය ප්‍රචලිත කිරීම සඳහා විසිපස් වතාවක් යළි ඉපදේවා!“

මාරාන්තික උණසන්නිපාතයෙන් පෙළෙමින් පූජනීය ඉසිපතනේ ගිලන් ඇඳේ වැතිර සිට 1933 අප්‍රේල් මස 29 වන දින අවසන් හුස්ම හෙළු ශ්‍රී දේවමිත්ත ධම්මපාලයන්ගේ අවසන් පැතුමය ඒ.

එය බියගුල්ලෙකුගේ හෝ මන්දබුද්ධිකයෙකුගේ පැතුමක් නොව මිනිස් වර්ගයාට මීට වඩා සේවයක් කිරීමේ පරම පවිත්‍ර චේතනාවෙන්, අවස්ථාවක් ලබාගැනීමට අධිෂ්ඨානයෙන් දැල්වු නොමියෙන දිප්තිමත් පහන් සිළුවකි.

තම ජීවිතයේ සෑම විනාඩියක්ම මිනිස්වර්ගයාගේ හිත සුව  පිණිස කැපකළ ධම්මපාල තුමාට අලසව යහනේ වැතිර සිටීම කොහෙත්ම කළ නොහැක්කක් විය. අක්‍රිය ජීවිතයකට අනිවාර්යෙන්ම අවතීර්ණවීමට එතුමා තුළ කිසි කැමැත්තක් නොතිබු අතර හැකිතාක් ඉක්මනින් යළිත් සේවය කිරීමට තමන් තුළ තිබූ ප්‍රාර්ථනාව අවසන් කාලයේ නිතර නිතර ප්‍රකාශ කළේය.

වර්ෂ 1933 මැයි  මස 1 දින නිකුත් කිරීමට අදහස් කළ මහා බෝධි සඟරාවේ වෙසක් කලාපයේ වැඩ කටයුතු නිම කිරීම සඳහා මාර්තු මස අවසානයේ මා ඉසිපතනේ සිට කල්කටාවට පැමිණියෙමි. මා නික්මෙන විට ධම්මපාල තුමන් හොඳ සනීපයෙන් පසුවන බව  පෙනෙන්නට තිබුණත්, දිගින් දිගටම පැවැති අසනීපය නිසා, මානසික වශයෙන් අවදිව සිටියත් ශරීර සෞඛ්‍ය පිරිහෙමින් පැවැතිණ. වෙසක් කලාපයේ පළකිරීම සඳහා වැදගත් ලිපි කීපයක් මගේ අතට දුන් එතුමා, තම ආත්ම චරිත කථනයේ පළමුවන පරිච්ඡේදය දීමට අමතක නොකලේය. කල්කටාවට පැමිණි දින සිට මෙම කටයුත්තේ නියැළි සිටියදි, අප්‍රේල් මස 16 දින විදුලි පුවතක් ලැබුණි.

“ ගරු ධම්මපාල තුමා දැඩි ලෙස රෝගාතූර වී සිටි.වහා එන්න.“

එය ලැබුණු වි ගස කල්කටාවෙන් පිටත් වු ඊළඟ දුම්රියෙන් ඉසිපතනය බලා ගමන් කොට පසුදින පාන්දර එහි ළඟාවුණෙමි. ගේට්ටුව අසලට පැමිණෙත්ම එහි සිටි සාමණේර නමක් දැන් හුඟක් දුරට ධර්මපාලතුමාට සනීපයයි කියා කී විට  මා තුළ මහත් සැනසීමක් ඇති වුණි. එතුමා වෙසෙන කුටියට පිවිසියෙමි. බද්ධපරියංකයෙන් භාවනානුයෝගීව වැඩ විසු ධම්මපාල හිමි දුටිමි. එතුමා මා දුටු විට මඳ සිනහ රැල්ලක් මුහුණේ දිස්විණ. “ මම කිව්ව ඒ භික්ෂුවට විදුලි පුවතක් වයන්නට තරම් අවශ්‍යතාවයක් නැති බව“ සිහින් ස්වරයකින් ප්‍රකාශ කළේය.

තම ජීවිත කාලය තුළ සියලු බාධක මැඩගනිමින් , දරුණු අවස්ථාවලදි පවා නොසැලි සටන් කළ පුද්ගලයෙකු, සුළු අතපසුවීමක් නිසා වැළඳුනු රෝගයකින් මිය යෑම ඇත්ක වශයෙන්ම පුදුම සහගතය.

අප්‍රේල් මස 13 දින රාත්‍රි ඉසිපතනයට ඇඳ හැළුණු ධාරාණිපාත වැස්ස නිසා තද නින්දේ  පසුවූ ධම්මපාල හිමියන්ගේ කුටියේ පියස්සෙන් කාන්දු වු වැහි බිංදු කුටිය තුළ තිබු සියලු දෑ තෙත් කළේය.

ග්‍රීස්ම කාලයේ උතුරු ඉන්දීය වැසියන් තම නිවාස වල පියස්සේ නිදියන නිසා ඒවා සමතලා ආකාරයට සාදා තිබෙන අතර, ආරක්ෂාවට හතර වටේ කොට තාප්පයක්ද සාදා වැසි ජලය පිටවීමට තැනින් තැන විවරයක් තබති. ධම්මපාල හිමි මෙම විවරයන් සාමනේර තෙරුන් ලවා අහුරා ග්‍රීස්ම කාලයේ කුටිය සිසිල්ව තබා ගැනීම සඳහා පියස්සට ජලය වක්කරවා ගෙන තිබේ. අප්‍රේල් මස 13 දින කඩා හැළුණු ධාරාණිපාත වැස්ස ඇතිවන විට කලින් වසා තිබුනු විවරයන් ගැන සැලකිලිමත් නොවීමෙන් ඒ තුළට ජලය කාන්දු විය. එම රාත්‍රියේ වැස්සට තෙමීම නිසා ධර්මපාල හිමිට උණ රෝගය වැළඳුනු බව වටහාගත් මා වහාම වෛද්‍යාධාර ලබා ගැනීමට කටයුතු කොට එතුමාට සාත්තු සප්පායම් කළෙමි. මෙය මැලේරියාව බවට නිගමනය කළ නිසා වෛද්‍යවරයා වැඩි සැලකිල්ලක් නොදැක්විය. තත්වයේ වෙනසක් නොවීම දින ගණනක් ගතවිය.නමුත් සුව අතට නොහැරෙන බව වටහාගත් මා සොහාරාම් වෛද්‍යවරයාගෙන්ද, පසුව බරණැස මේජර් කල්හැම්ගෙන්ද ප්‍රතිකාර පැතීය. වෛද්‍ය මේජර් කල්හැම්ගෙන්ද ප්‍රතිකාර පැතීය. වෛද්‍ය මේජර් කල්හැම් එය උණසන්නිපාතය ලෙස නිගමනය කළ අතර, ලබාදුන් ප්‍රතිකාර වලින් කිසිම සුවයක් නොලැබුණු අතර, රෝගියා ඉතා දුර්වල තත්වයට පත්විණ.

“ අපට සත්රන් දෙදෙනෙකු සමඟ සටන් කරන්නට වී තිබෙනවා. එකෙක්  ඔහුගේ රෝගය. අනිකා ඔහුගේ චිත්ත බලය. පෙනෙන හැටියට ඔහු ජය ගනියි.“ මෙය ප්‍රතිකාර කළ වෛද්‍යවරයකුගේ ප්‍රකාශයකි. ධර්මපාල තුමාගෙන් කිසිම සහයෝගයක් වෛද්‍යවරුන්ට නොලැබීම ඊට හේතුව වන්නට පුලුවන. ජීවත් වීමෙන් ලෝකයාට සෙතක් නොවන්නේ නම් එවන් ජීවිතයක් තවදුරටත් පවත්වාගෙන යෑමට ඔහු තුළ කැමැත්තක් නොතිබුණි. මේ දිරායන ශරීරය ප්‍රකෘති කිරීමට මුදල් වියදම් කිරීම නවතන ලෙස කීප වතාවක්ම ඉල්ලූ එතුමා, ඒ මුදල් බෞද්ධ කටයුතු සඳහා යෙදන ලෙස ඉල්ලමින්, බොන්නට දුන් ඖෂධ පඩික්කමට වක් කළේය.

අප්‍රේල් 20 දින වන විට එතුමාගේ සෞඛ්‍ය තත්වය නරක අතට යොමු වූ නිසා කොළඹ සිටින එතුමාගේ ඥාතීන්ට විදුලි පණිවුඩ යැවීමට තීරණය කළෙමි.

ඉසිපතනය වැනි දුර බැහැර පළාතක එතුමා පිළිබඳ මා වෙත පැවැරී ඇති වගකීම සුළු පටු නොවන නිසා, එය බෙදා ගැනීමේ යෝග්‍යතාවය මට වැටහුනේ වෛද්‍යවරුන්ගේ මුහුණුවලින් ප්‍රකාශ වු අවස්ථාවේ භයානකකම තේරුම්ගත් නිසාය.

ධර්මපාල තුමාගේ රෝගය පිළිබඳව වෛද්‍ය පී. නන්දි තරම් දන්නා අන් අයෙකු නොසිටි නිසා වහාම පැමිණෙන ලෙස ඉල්ලමින් එතුමාට විදුලි පුවතක් කල්කටාවට යැවීමි. ඊට පිළිතුරු වශයෙන් 21 වන දින සහකාර වෛද්‍යවරයෙකු එන බවත් 23 වන දින තමා ද පැමිණෙන බව දැන ගැනීම මා ලද එක්තරා සිහිනයකි. තත්වය අවදානම් බව ඔවුහු ප්‍රකාශ කළෝය. “මා ඉක්මනින් මිය ගොස් නැවත උත්පත්තියක් ලබමි. මේ නිර්මල ධර්මය ප්‍රචලිත කිරීම පිණිස විසිපස් වතාවක් උපදින්නෙමි.“ යැයි ප්‍රකාශ කළ ධර්මපාල තුමාගේ නාඩි වැටීම පසුදා 11 වන අඩපණ විය. මරණය අත ළඟ බව දැන ගතිමි. කුටිය තුල ශෝකාන්විත නිහඬතාවක් පැතිර පැවැතිණි.

අවසන් හුස්ම හෙළන අප නායකයාගේ යහන වටා සිටි අයගේ දෙනෙතින් ඇද හැළෙන කඳුළු, හැඬීම් හා කසුකුසුවෙන් නිර්මාණය වූ දර්ශනය හද කම්පාකරවන්නක් විය. තමන් වටා සිදුවන දෑ පිළිබඳ කිසිවක් ඔහු නොදත්තේය.

එතුමාගේ ශ්‍රේෂ්ඨතම නිර්මාණය ලෙස සැලකෙන මූලගන්ධකුටි විහාරය හොඳින් දිස්වන සේ මුහුණලා වැතිර සටීමට යහන සකස් කිරීම, දුක්බර හදවත් වලින් පිරි අවට සිටි අය විසින් සිදු කරන ලදී.

වැඩෙමින් සිටින තම එකම දරුවා දෙස බලා සිටින, මාතෘ  ප්‍රේමයෙන් හරිත මවක මෙන්, ධර්මපාල තුමා මූලගන්ධකුටි විහාරය දෙස ටික වේලාවක් නෙත් හෙළා බලා සිටිය දීම නිමේෂයකින් එය මහත් ගෞරවනීය ප්‍රේමයකට පෙරළි පස්  වතාවක්ම දෙහොත් මුදුන් දී නමස්කාර කළේය.

බුදුන් වහන්සේගේ ප්‍රතිමාවක් එතුමා ඉදිරියෙන් තබා තිබුණි. අටපිරිකරක්ද එතුමා පූජා කළේය.බ මහ සංඝයාගේ පිරිත් සජ්ජායනය ශ්‍රවණය කරමින් නින්දට වැටින.

අම්ලකර වායුවද රැගෙන කල්කටාවෙන් පිටත් වූ සහකාර වෛද්‍යවරයා කුටියට පිවිසින. වැතිර සිටි යහනින් ටිකක් ඉස්සී, ඇයි මෙතරම් ප්‍රමාද වුණේ? කියා විමසීය.

23 දින පැමිණි වෛද්‍ය නන්දි දැකීමෙන් එතුමා තුළ මහත් ප්‍රීතියක් හටගත් බව පෙනෙන්නට තිබිණි. ඔවුන් දෙපළක්, එකෙකු මරණයේ දොරටුව අසලත්, අනිකා ඔහුව ගලවා ගැනීමේ පරම පවිත්‍ර චේතනාවෙන් වෙහෙසෙන විලාශයත් බලා සිටි මගේ නෙත් කඳුළෙන් තෙත් විය. පූර්ණ පරීක්ෂණයකින් පසු වැළඳී ඇත්තේ උණසන්නිපාතය බව වෛද්‍යවරයා නිගමනය කළේය.

එතෙක් අප අතර පැවැති සුන් වු බලාපොරොත්තුවත් අවිශ්වාසයත් නන්දි වෛද්‍යවරයාගේ පැමිණිමෙන් පහවී ගියේය.ශාලාවේ පැවැති පරිසරයද යහපත් අතට හැරුණි. දැන් අප තුළ තිබූ අවිශ්වාසය දුරුවී බලාපෙරොත්තු සහගත විශ්වාසයක් ඇතිවිය. අපට ධර්මපාල තුමා සුවය ලබා දෙන්නෙකු පමණක් නොව මාර්ගෝපදේශයෙකු, දාර්ශණිකයෙකු සහ සැනසිලි වන්තයෙකුද විය.

බුද්ධගයාවට යැවු එතුමාගේ භික්ෂූන් වහන්සේලා එතුමාගේ අසාද්‍ය රෝගී තත්වය දැනගත් විගස 24 වන දින ආපසු පැමිණ ගිලන් කුටියට එබිකම් කර බලද්දී එය දුටු ධර්මපාලතුමා “ මේ අය කොහේ සිටද ආවේ?“ කියා විමසීය.අසලම සිටි ශාසන සිරි තෙරණුවන් බුද්ධගයාවෙන් කියා පිළිතුරු දුනි. මෙය ඇසීමෙන් හදවතේ යම් කිසි තැතිගැනීමක් ඇති වු අතර කළ කිරුණු ස්වභාවයක් මුහුනෙන් දිස්වීය.

“ තම දරුවා පණ අදිමින් සිටින විට, මවක් පැන දුවයිද?“ ඉන් එතුමා අදහස් කළේ තම ජීවිතයටත් වඩා ආදරය කළ බුද්ධගයාවයි. ගිලන්ව සිටි කාලය තුළ පවා නිතර නිතර මතක් කළේ බුද්ධගයා ප්‍රශ්ණයයි. එසේ සඳහන් නොකල දිනයක් තිබුණේම නැත. බෞද්ධයන්ගේ පරම පවිත්‍ර පූජනීය භූමිය හින්දු ග්‍රහණයෙන් මුදාගෙන ලෝකයේ වෙසෙන බෞද්ධයන්ගේ ප්‍රණාමයට ලක් කිරීම එතුමාගේ එකම අභිප්‍රාය විය. පසු කාලයේ බුද්ධගයාව බේරා ගැනීමේ විධිමත් වැඩපිළිවෙළට නව පණක් දීමට කටයුතු කරමින් සිටියද අපේ අවාසනාවට  එතුමා ගිලන් විය.

“ තව අවුරුදු 2ක් ජීවත් වුනොත් ඒ අති පූජනීය භූමිය බේරා ගන්නෙමියි“ කියා වරක් මට කියා තිබේ. ගයාවේම පදිංචි වී මේ සටන ගෙනයාම එතුමාගේ සැලසුම විය.
එතුමාගේ ජීවිත කාලය තුළ විඳි දරුණුම චිත්ත පීඩාව එම සංදේශය කියවීමෙන් ඇති වු බව මට ප්‍රත්‍යක්ෂ විය. අහො ! ඉන් ගොඩ ඒමට නොහැකි විය.

ගිලන් ඇඳේ සිටියත් මෙවැනි ද්‍රෝහි කමක් ඔහුට කෙසේ නම් අමතක කළ හැකිද? මෙම අවශ්ථාවේදි එතුමාගේ මුවින් පිට වූ සියලු දෑ ප්‍රකාශ කිරීමට මෙහි ඉඩ නැත. නමුත් එකක් සඳහන් කළ යුතුය.

අවසන් කර ගත නොහැකි වූ බුද්ධගයාවේ අයිතිය නියමිත අයිතිකරුවන්ට පැවරීමේ වගකීම එතුමා ලෝකයේ බෞද්ධයන් වෙත පවරා තිබෙන බවනම් ප්‍රත්‍යක්ෂ බව ප්‍රකාශ කළ යුතුය.

එම භාර ධූර කර්තව්‍ය භාරගෙන මල්පල ගැන්වෙන තුරු ක්‍රියා කිරීමෙන් යටගිය දශක හැත්තෑව තුළ පහළ වු ශ්‍රේෂ්ඨතම බෞද්ධ ධර්ම දූතයා ආරම්භ කළ  ඒ ශාසනික කටයුත්ත ජයග්‍රාහි ලෙස නිමාවට පත් කරනු ඇතැයි විශ්වාස කරමී.

රෝගී තත්වය උත්සන්න වීමට ප්‍රථම, බලාපොරොත්තු දිනට කලින් ධර්මපාල තුමාගේ බෑණනුවන් වන රාජා හේවාවිතාරණ මහතා (26 දින) පැමිණිමෙන් මගේ බර සැහැල්ලු විය. ඔහු හඳුනාගත් ධර්මපාල තුමා සෙනෙහෙබරින් මුහුණ පිරිමැද නීල් සහෝදරයා ගැන විමසීය. තවද බෞද්ධ සම්මේනය විසින් ඉදිරිපත් කර ඇති සංදේශය ගැන ගන්නා ක්‍රියා මාර්ගය කුමක්ද යන්නත් ගැන විමසීය.

හදිසියෙන්ම වාගේ 27 දින මට කථා කොට, වැදගත් දෙයක් ලිවීමට තිබෙන බව අඟවා , පෑනක් සහ කොළයක් ඉල්ලුවේය. එම අවශ්ථාවේ එතුමාගේ සිහි බුද්ධිය අසාමාන්‍ය තත්වයේ තිබුණි. පේළි තුනක් පමණක් කුරුටු ගා තිබුණත් පළමු පේළිය කියවීමට තරම් අපැහැදිලිය. දෙවැනි සහ තෙවැනි පේළි දෙකින් කියැවුනේ

“ නන්දි වෛද්‍යතුමනි, මා එන්නත් වලින් හෙම්බත්වී ඇත. මට මියදෙන්නට සලස්වන්න“ යනුයි.

නන්දි වෛද්‍යවරයා යම්කිසි බලාපොරොත්තු සහගත තත්වයක් පෙන්නුම් කළත් 28 දින ද අසාද්‍ය තත්වයේ වෙනසක් නොදුටිමී. දින 5ක්ම සාරානාත්වල රැඳි සිටි නන්දි වෛද්‍යවරයා තම සහායක වෛද්‍යවරයාට නිසි උපදෙස් දී සවස් වරුවේ දුම්රියෙන් පිටත් විය. රෝගියා අසහනකාරි රාත්‍රියක් ගත කළත්, වේදනාවක් තිබුණත් පසුදා උදාවන ඉරනම ගැන අප සිතුවේ නැත. 29 වන දා පාන්දර කිසිවක් කථා නොකර සිහිසුන්ව සිටියත් මගේ නම වරක් කොඳුරනවා  මට ඇසුණි.සහකාර වෛද්‍යවරයා වෙනදාට කැන උණු වතුර තැවිල්ල කළත් එතුමා පැත්තට හැරුණේ නැත. ආහාර ගැනීමට ද කිසිම උනන්දුවක් නොදැක් වූ අතර ඇස් දෙක අඩක් පියවී තිබුණි.

රාජා හේවාවිතාරණ මහතා ප්‍රමුඛ සියලු දෙනා නිහඬව බලා සිටි අතර දහවල් 12 ට පමණ ඇඟේ උෂ්ණත්වය වැඩිවීමට පටන් ගති. වෛද්‍යවරයාගේ සියලු ප්‍රතිකර්ම යටපත් වූ අතර පස්වරු 2.00 වන විට උෂ්ණත්වය අංශක 104.6 දක්වා වැඩිවිණ. අවසානය අතළඟ බව දැනගතිමු.බව දැනගතිමු. එම අවස්ථාවේදී හේවා විතාරණ මහතා එහි සිටි සියලුම භික්ෂූන් වහන්සේලාට පිරිත් සජ්ජායනා කරන ලෙස ආරාධනා කළේය. පිරිත් සජ්ජායනාව අතරතුර පස්වරු 3.00 ට එතුමා අවසන් සාන්ත හුස්ම හෙළීය.

සතුට හා තෘප්තිය විදහා දැක්වෙන ශාන්ත සිනහ රැල්ලක් මුහුණේ දක්නට විය.

වර්තමාන යුගයේ පහළ වූ කීර්තිධර එඩිතර දේශාභිමානී සිංහලයාගේ ගමන අවසන් විය. එම යුගයේ පහළ වු එවන් පුත්‍රයන්ගේ කාරුණාභරිත ප්‍රබල නායකයා ඔහුය.

පරිහානියේත්, විනාශයේත් මරු මුඛයට වැටෙන්ට ගිය සිංහල ජාතිය ඉන්මුදා ගත් අතර එතුමාගේ මානව හිතවාදි ක්‍රියා කලාපය නිසා සිංහලයාට  ලෝක ජාතීන් අතර ගෞරවනීය  නාමයක් හිමිවිය. මානව සංහතියට කරන ලද උදාර සේවය වර්ණනා කිරීමට මෙය ස්ථානය නොවේ.

ධර්මපාල තුමා තරම් ලෝකයේ බුදු සසුනේ වර්ධනයටත් ජාතියේ පුනර්ජීවනයටත් කරන ලද පරිත්‍යාගය සහ සේවාවට සමකළ හැකි, වෙනත් කෙනෙකු පසුගිය වර්ෂ 700 තුළ පහළ නොවු බව කිසිම පැකිලීමකින් තොරව, නිර්භයව ප්‍රකාශ කළ හැක.

බෞද්ධ ඉතිහාසයේ සඳහන් මහින්ද, අශෝක වැනි ශ්‍රේෂ්ඨ ධර්මදුතයන් අතරට  මෙතුමාව පත් කරමින් කෘතගුණවේදී ජාතිය ධම්මපාල නාමය සදා සමරනවා ඇත.