ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ ජීවිත ගමනේ සටහන්

ධර්මපාල තුමාගේ අන්තිම කැමති පත්‍රය

ශ්‍රී ලංකාද්වීපයෙහි සෙංකඩගල (මහනුවර) උපෝෂිත පුෂ්පාරාම විහාරද්වයාධිපති අති පූජනීය පහමුණේ ධම්මකීර්ති ශ්‍රී සරණංකර සුමංගලාභිධාන ශ්‍යමොපාලි මහානිකායේ මහානායක ස්ථවීර ප්‍රමුඛ අනු නායක කාරක මහා සංඝ සභාව වෙත අතිශපාදර ගෞරව නමස්කාරයෙන් ලියා සැලකිරීමයි.

ගරු ස්වාමීවරුනි,

මහානායක හැමුදුරුවන්ගේ සන්දේශ පත්‍රෙයහි සඳහන් වූ පරිදි සංඝරතන පරිවෙණාධිපති මඩුගල්ලේ ශ්‍රී සිද්ධාර්‍තාභිධාන ශ්‍යාමොපාලි මහානිකායේ අනුනායක ස්ථවිරපාදයන් වහන්සේ ප්‍රධාන, විද්‍යෝදය පරිවෙණාධිපති කහවේ ශ්‍රී සුමංගල රතනසාරාභිධාන නායක ස්ථවිරපාදයන් වහන්සේ හා  විද්‍යාලංකාර පරිවෙණාධිපති ලුණුපොකුණේ ධම්මකිර්ති ධම්මානන්දාභීධාන නායක ස්ථවිරපාදයන් වහන්සේත් ඇතුලු සතොස් නමක් ශ්‍යාමොපාලි වංශික භික්ෂු සංඝයා වහන්සේ මහා බෝධි සමාගමේ නියමය පිට ලක්දිව සිට රාජා හේවාවිතාරණ මහත්මයා ප්‍රධාන උපාසක පිරිසක් විසින් ගෞරවයෙන් මෙහි වැඩමකර ගෙන එන ලදුව පළමුකොට කල්කටා ධර්‍මරාජික විහාරයෙහිද ඉන්පසු බරණැස් නුවර ඉසිපතන මූලගන්ධකුටි විහාරයෙහි දී ද අපි ගෞරවාදරයෙන් පිළිගතිමු.

මහා සංඝයා වහන්සේ මෙම දුරුතු මස අව ජලවක ලත් රිවිදින (ජනවාරි 15 දා) ඉසිපතනයට වැඩිසේක. පසු දින පස්වරු කාලයෙහි බඹ සීමාව සම්මත කොට එදිනම රාත්‍රියේ සිරි දේවමිත්ත ධර්මපාල සමනුදෙස්ස නමැති මා උපසම්පදා සංඛ්‍යාත අධි ශීලයෙහි පිහිටුවා වදාල සේක. ඒ සාසනික ගරු විනය කර්‍මයන් ඉතා හොඳින්, ගරු අන්දමින් සිද්ධවීම නිසා මට දැන් අප්‍රමාණ ප්‍රීතියි. 40 අවුරුද්දක් මුළුල්ලේ දඹදිව ශාසනික කටයුතු ගැන මම දුක් වින්දෙමි. ඒ පිළිබඳ මගේ මනො රථය මේ උතුම් කටයුතු නිසා සම්පූර්ණ වුයේය. ඒ ගැන හිතාධ්‍යාශයෙන්  ප්‍රතිෂ්ඨාධාරී වු මල්වතු විහාරයේ අපේ මහානායක හාමුදුරුවන් වහන්සේ ප්‍රධාන කාරක මහා සංඝ සභාවට මගේ ගෞරවාදර නමස්කාරය පූජා කරමි.

තවද, මම බොහෝ කාලයක් වෙහෙස මහන්සි වී දඹදිව ශාසනය පිහිටුවීමි. කලිකතාහි ධර්‍මරාජික විහාරයද, බරණැස් නුවර ඉසිපතන මූලගන්ධිකුටි විහාරයද විශාල ධනයක් වියදම් කොට තැනවීමි. මා දැන් වයෝවෘදව සිටින හෙයින් ඒවා නිසිසේ පාලනය කරමින් ඉදිරියට දඹදිව ශාසනික කටයුතු දියුණු කිරීමට ශක්තියක් නෑ.ඒ නිසා ඒ සියල්ලම මම ශාසනයට පූජා කරමි. එබැවින් මහනුවර මල්වතු විහාරයෙහි කාරක මහා සංඝ සභාව ප්‍රධාන කොට මහා බෝධි සමාගමේ සභාපති ධුරන්ධර විද්‍යෝදය පරිවෙණාධිපති ලුණු පොකුණේ ශ්‍රී ධම්මානන්ද නායක ස්ථවීරපාදයන් වහන්සේද කොළඹ විද්‍යෝදය පිරිවෙණේ අධ්‍යක්ෂව වැඩසිටි ත්‍රිපිටක වාගීශ්වරාචාර්‍ය්‍ය හෙයියන්තුඩුවේ සිරි දේවමිත්ත නායක ස්ථවිරපාදයන් වහන්සේගේ ප්‍රධාන ශිෂ්‍ය වූ මගේ ආචාර්‍ය්‍ය බොරුක්ගමුවේ සිරි රෙවතාභිධාන මහාස්ථවිරපාදයන් වහන්සේ ප්‍රධාන එම ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවටත් පවරා දුනිමි. ඒ බැවින් මහානායක හැමුදුරුවන් වහන්සේගේ අනුශාසනා ලෙස යට කී සතර පක්ෂයේ මහතෙරුන් වහන්සේලා විසින් එකී විහාරස්ථාන බාරගෙන ඒවා මතු කාලයේ නිසිසේ පාලනය වන යහපත් පිළිවෙළක් යොදා මා විසින් දුකසේ ඇති කළ දඹදිව ශාසනය දියුණු කරන ලෙස මම ගෞරවයෙන් සැල කරමි.

තෙරුවන් සරණින් මහානායක හාමුදුරුවන්  වහන්සේට දීර්‍ඝායුෂ ලැබේවායි ප්‍රාර්ථනා කරමි.

මේ කටයුතු සම්බන්ධයෙන් සංඝ සභාවෙන් ලැබුණු ආධාර ගැන නැවතත් මගේ ගෞරවාදරය පිරිනමමි.