ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ ජීවිත ගමනේ සටහන්

ධර්මපාල තුමාගේ ජීවිතයේ වැදගත් අවස්ථා

1886 ජනවාරි
පරම විඥානාර්ථ බෞද්ධ සමිතියේ යහපත හා දියුණුව පිණිස කැප වී ක්‍රියා කිරීමේ අටියෙන් රාජ්‍ය සේවයෙන් ඉවත් වීම, ඉන්පසු  එහි බෞද්ධ අංශයේ ප්‍රධාන ලේකම් ලෙසත්, සඳරැස (පත්‍රයේ) හා බෞද්ධ මුද්‍රණාලයේ කළමනාකාරවරයා ලෙසත් බෞද්ධ පාඨශාලා කළමනාකාරවරයා හා 1886 මාර්තු මස සිට 1890  දෙසැම්බර් දක්වා කාලය තුළ බෞද්ධාරක්ෂක කමිටුවේ උප ලේකම් ලෙසත් කටයුතු කළේය.

1891 ජනවාරි 2
දැනට සාරානාත් නමින් හැඳින්වෙන බරණැස ද,  ඉසිපතනය හා බුද්ධගයාව ද නැරඹීමට යෑම්, බුද්ධගයාවේ සිද්ධස්ථානයෙහි පවත්නා ශෝචනීය තත්වය දැක එම ශුද්ධ භූමිය  එම ජරාවාස තත්වයෙන් මුදා ගැනීමට තම ජීවිතය කැප කරන බවට ශ්‍රී මහ බෝධි රාජයා හමුවෙහි භාරයක් වීම.

1891 මාර්තු
බුද්ධගයාවෙන් නික්ම කල්කටාව හරහා රැංගුන් කරා යෑම, කල්කටාවෙහි දි, අභාවප්‍රාප්ත බාබු නීල් කොමුල් මුකර්ජී තුමා විසින් පිළිගනු ලැබීම හා එතුමාගේ අතිථි සත්කාර විදීම.
රැංගුන් වෙත පැමිණීම, නැවතීමට තැනක් නොලදින් සිංහල රන්කරුවකු රැදි සිටි කාමරයක රාත්‍රිය ගත කිරීම, හදිසියෙන්ම හමු වු බුරුම ජාතිකයකු ඔහුගේ උදාන නිවාසයට එතුමා කැඳවාගෙන යෑම හා අභාවප්‍රාප්ත මෞංහ්පෝ මින් මහතා හමුවීමේ අපේක්ෂාවෙන් දෙ සතියක් ඔහුගේ නිවසෙහි කල්  ගෙවීම, ඔහු හමුවීමෙන් පසු ඔහු විසින් සාදරයෙන් පිළිගනු ලැබීමෙන් මාසයක කාලයක් පුරා  ඔහුගේ නිවාසයෙහි රැදී සිටීම හා ඉන්පසු කොළඹ බලා පිටත්වීම.

1891 මැයි
බුද්ධගයා මහා  බෝධි සමිතිය යන නමින් මහා බෝධි සමිතිය එම මස 31 වන දා ඇරඹීම, මෙය පසුව කෙටි බව පිණිස මහා බෝධි සමිතිය නමින් හැඳින්වෙන්නට විය.

1891 ජූලි
බුද්ධගයාවට යෑම පිණිස රාමඤ්ඤ නිකායේ භික්ෂූන්  සිවු දෙනෙකු ලබා ගැනීම, රොසෙටා නැවින් උන්වහන්සේ කැටිව කල්කටාවට  යාම සහ එතැන් සිට ගයාව දක්වා දුම්රියෙන් යෑම, මුන්වහන්සේලා සිවු නමින් ති දෙනෙකු වූයේ චන්ද්‍රජෝති, සුදස්සන සහ සුමංගල යන හිමිවරුන්ය.

1891 ඔක්තෝබර්
බුදුසමය හා හින්දු සමය අතර ඇති සබඳකම් පිළිබඳව කල්කටාවේ ඇල්බට් ශාලාවෙහි දී අනගාරික ධර්මපාල තුමාගේ ප්‍රථම ඉංගිරිසි දේශණය පැවැත්විණ. නීල් කොමුල් මුඛර්ජි තුමාගේ නිවාසයෙහි රැඳීම, මෙතුමා ඉන්පසු ලැබු විසි අවුරුදු කාලය පුරාම එතුමාගේ ප්‍රධාන දායකයා වුයේ මුඛර්ජී තුමාය.ඉන්ඩියන් මිරර් පත්‍රයේ කර්තෘ තැන්පත්ව සිටි සුරේන්ද්‍රනාත් සෙන් මහතා සමඟ මිත්‍රත්වය ඇති කොට ගැනීම, සෙන් මහතා මිය යන තෙක්ම බෞද්ධයන්ගේ මිත්‍රයකුව සිටියේය.

1892 ජනවාරි
මහා  බෝධි සඟරාව ඇරඹීම, ඩිමයි අටේ පිටු අටකින් එය යුක්ත විය. සියල්ලන්ගේ ප්‍රශංසාව දිනු මෙය හේතු කොට චිකාගෝ නුවර පැවැත්වුණු දෘෂ්ටි සම්මේලනයට සහභාගි වීමට ආරධනයක්   ලැබිණ.

1892 ඔක්තෝබර්
කර්නල් ඕල්කට්තුමා සමග අක්යාබයට යෑම, අක්යාබායේ මහා බෝධි සමිතිය පිහිටුවීම,මහා බෝධි සමිතියේ කටයුතු වලට පළමු‍වෙන්ම සහාය දුන්නෝ අරකන් බෞද්ධයෝය. ඔවුන්ගේ ආරාධනයෙන් කල්කටාවේ ග්‍රීක් රෝ, අංක 2 දරණ ස්ථානයෙහි නිවෙසක් කුලියට ලබා ගත හැකි විය.1904 මැයි මස දක්වා මෙහි කටයුතු පවතිවාගෙන ගිය පසු කලකට මේ ස්ථානය වසා තබන ලදී.

1893 ජූනි
රැංගුන් වෙත යෑම.

1893 ජූලි
ඉන්දියාවෙන්  නික්ම දෘෂ්ටි සම්මේලනයට සහභාගී වීම සඳහා ලංකාව හරහා ලන්ඩනයට හා ඇමෙරිකාවට යෑම.

1893 අගෝස්තු
ලන්ඩනයට පැමිණ ශ්‍රීමත් එඩ්වින් ආනෝල්ඩ් තුමාගේ සහ බැසන්ට් මැතිනියගේ අතිසත්කාර ලැබීම, බැසන්ට් මැතිනිය සමඟ නිව්යෝර්කයට යෑම.

1893 සැප්තැම්බර්
දක්ෂිණ බුද්ධාගම වෙනුවෙන් දෘෂ්ටි සම්මේලනයෙහි දේශණයක් පැවැත්වීම. එහි දී ඉතා උණුසුම් පිළිගැනීමක් ලැබීම.

1893 ඔක්තෝබර් 17
හොනොලුලු වරායෙහි නවතා තුබූ එස්.ඕෂනික් නෞකාවෙහිදී මේරි ෆොස්ටර්
මැතිනිය හමුවීම

1893 නොවැම්බර්
ජපානයට පැමිණිම , ඉඩෝ බුසෙකි කොෆුකායි සංවිධාන‍යේ ලේකම් වරයා විසින් පිළිගනු ,ලැබීම,  ටෝකියෝවේ ෂිබාහි අභාවප්‍රාප්ත පූජ්‍ය අසාහි හිමියන්ගේ අධිපතීත්වය යටතේ පැවැති ටෙන්ටෝකියුජි විහාරස්ථානයේ දායක සභාවෙන් අලංකාර ජපාන බුදු පිළිමය ලැබීම.

1894 ජනවාරි
ෂැංහයි නගරයට යෑම, එහි විහාරස්ථානයෙහි දේශනයක් පැවැත්වීම, මේ දේශනය ගරු එඩ්කින්ස් තුමා සහ ආචාර්ය ෆ්‍රාංකේ විසින් පරිවර්තනය කරනු ලැබිණ.

1894 පෙබරවාරි
බැංකොක් නගරයට යෑම, රාජ්සාකි කුමරුගේ අතිථිසත්කාර ලැබීම, විවිත් කුමරුගේ හා සෙසු කුමාරවරුන්ගේ ආරාධනයෙන් මහා බෝධි සමිතියේ ශාඛාවක් පිහිටුවීම.

1894 අප්‍රේල්
කොළඹට පැමිණීම, මහා බෝධි ග්‍රාමය මිල දී  ගැනීම පිණිස ධනවත් බෞද්ධයන්ගෙන් පොරොන්දු ලැබීම.

1894 සැප්තැම්බර්
බුද්ධගයා අරමුදල පිහිටුවීම, බෞද්ධයන්ගේ පරිත්‍යාග ලැබීම.

1894 දෙසැම්බර්
බුද්ධගයාව සහ සෙසු බෞද්ධ සිද්ධස්ථාන කරා ලංකා බෞද්ධයන්ගේ වන්දනා ගමනක් සංවිධානය කිරීම,මේ ගමනට සහභාගී වු කාන්තාවෝ පළමු වරට සාරියෙන් සැරසුණහ.මදුරාසියෙහි දී ‍ගොඩ බැස අද්යාරයට ගොස් කර්නල් ඕල්කට් තුමා හමුවීම.

1895 පෙබරවාරි
ජපාන බුදුපිළිමය මහා බෝධි විහාරයෙහි තැන්පත් කිරීම, එහෙත් මහන්තාගේ සේවකයන් විසින් එය බලහත්කාරයෙන් ඉවත් කොට එළියට විසිකරනු ලැබීම.

1895 පෙබරවාරි
වන්දනාවට අවහිර කිරීම පිළිබඳව මහන්තාගේ සේවකයනට විරුද්ධව නඩුවක් පැවරීම, මෙය මහා බුද්ධ ගයා නඩුව නමින් බෙහෙවින් ප්‍රකට විය. බුරුම විශ්‍රාම ශාලාව මහා බෝධි සමිතියේ පරිහරණය සඳහා විවෘතවීම, 1910 වන තෙක් මේ ජපාන බුදු පිළිමය එහි තැන්පත් කරනු ලැබ තිබීම, ඉන්පසු කල්කටා මහාධිකරණයේ තීන්දුව ප්‍රකාර කල්කටාවට ගෙන යෑම සහ බුරුම විශ්‍රාම ශාලාව මහන්තාගේ දේපලක් බවට පත්වීම, විශ්‍රාම ශාලාව ලබා ගැනීමට රජය මහන්තාට උදවු කිරීම,එතැන් සිට එය මහන්තා භාරයෙහි පැවතීම හා බෞද්ධයන් සඳහා එය විවෘත නොවීම.

1896 මැයි
පළමු වරට කල්කටාවේ වෙසක් උත්සවය පැවැත්වීම.

1896 ජූලි
බුදු දහම දේශණා කිරීම පිණිස දෙවන වරටත් ඇමෙරිකාවට යෑම.

1901 ඔක්තෝබර්
ලයිතන් ආණ්ඩුකාර වුඩ්බන් බුද්ධගයාව නැරඹීමට යෑම,එහි ධර්ම ශාලාවක් තැනීම පිණිස මහා බෝධි සමිතිය විසින් ඉල්ලීමක් ඉදිරිපත් කරනු ලැබීම,  ඉඩමක් මිල දී ගැනීම පිණිස ආණ්ඩුකාරවරයා අනුමැතිය දීම, මේ සඳහා අවශ්‍ය මුදල් මණ්ඩලයේ සහ කොළඹ පිහිටි මහා බෝධි සමිති මඟින් සපයනු ලැබීම. අද බෞද්ධ වන්දනා සඳහා මේ විශ්‍රාම ශාලාවෙහි සපයනු ලබන පහසුකම් හැරෙන්නට බුද්ධගයාවෙහි බෞද්ධයනට නවාතැන් ගැනීමට වෙන තැනක් නැත. විහාරස්ථානය මහන්තාගේත්, රජයේත් යන ද්විත්ව පාලනය යටතේ පවති. අවශ්‍ය වන්නේ බුද්ධගයාවෙහි භික්ෂුන් විසීමයි. විහාරස්ථානයෙහි වන්දනාමාන කිරීමට නිදහස පවති. මහා බෝධි ධර්ම ශාලාව නමින් හැඳින්වෙන විශ්‍රාම ශාලාවෙහි බෞද්ධයනට නැවති  සිටිය හැකිය.

1901 ජනවාරි
බරණැස (සාරානාත්) ඉසිපතනයෙහි ඉඩම මිල දී ගැනීම.

1902 අප්‍රේල්
තුන්වන වරට ඇමෙරිකාවට යෑම, සැන් ෆ්රැන්සිස්රය කිකෝවේ ගොඩ බැසීම.

1903
කර්මාන්ත විද්‍යායතන නරඹමින්  ඇමෙරිකාව පුරා සංචාරය කිරීම.

1904 ජනවාරි
කාර්මික විද්‍යායතන පදනම සැන් ෆ්රැන්සිස්කෝවේ ඇරඹීම,මීට මේරි ෆොස්ටර් මැතිනිය රුපියල් 10,000ක මුදලක් පරිත්‍යාග කිරීම.

1904 ජනවාරි
ලන්ඩනයට පැමිණීම, ලන්ඩන්, ලිවර්පූල් යන ස්ථාන වල සහ ඕලන්දයේ, ඩෙන්මාර්කයේ හා ඉතාලියේ කාර්මික පාඨශාලා නැරඹීම.

1904 අප්‍රේල්
කොළඹට පැමිණීම.

1904 ජූලි
බරණැස  සාරානාත්හි කාර්මික පාඨශාලාවක් නැරඹීම.

1904 ඔක්තෝබර්
බරණැසින් කොළඹ බලා පිටත්වීම, අතරමඟ අද්යාරයට ගොස් කර්නල් ඕල්කට් තුමා හමුවීම, මෙහිදි කර්නල් ඕල්කට් තුමා සමඟ හබයක් ඇති කර ගත්තේය.ඊට හේතුව දන්ත ධාතුවේ ආකෘතියක් කොපුවක් තුල කර්නල් ඕල්කට් තුමා තබා ගනිමින් දළදාවට අගෞරව කිරීමෙන් බෞද්ධයන්ගේ සිත්වලට වේදනා ගෙන දීමයි.කර්නල් ඔල්කට් තුමා කෝපයට පැමිණ විසිවසරක කාල පරිච්ජේදයකින් පසු ධර්මපාල තුමා සමඟ පැවැති මිතු දහම අත්හැරීම. ඕල්කට් තුමා විසින් ධර්මපාල තුමා පරම විඥානාර්ථ සමිතියට බඳවාගනු ලැබුයේ 1884 ජනවාරි මාසයේදීය.

1906 මාර්තු
දේශිය පරම විඥානාර්ථ සංගමය බෞද්ධයෙකු යටතේ පවත්නා නිසාත් පරම විඥානයත් බුදු සමයත් අතර සාමග්‍රිතාව පැවැතිය යුතු නිසාත් “පරම විඥානය“ නැමැති නාමය ඉවත් කළ යුතු යයි යෝජනා කැන ලද හෙයින් පරම විඥානාර්ථ සංගමයට විරුද්ධ ව්‍යාපාරයක් ඇරැඹීය. සමහර සාමාජිකයෝ ඒ නම එලෙසම තබා ගැනීමට කැමැත්ත දැක්වූහ. එහෙයින් විරෝධී ව්‍යාපාරය ඇරඹිණ.

1906 මැයි
“සිංහල බෞද්ධයා “ පත්‍රයත්, මහා බෝධි මුද්‍රණාලයත් ආරම්භ කරන ලදී.
1906 ඔක්තෝබර්
හිනිදුම පාසල අරඹන ලදී.

1906
හොනොලුලුවේ මේරි ෆොස්ටර් මැතිනියගෙන් ලද පරිත්‍යාගයෙන් මිල දී ගත් ඉඩමෙහි පාසැල් ගොඩනැඟිල්ල තැනවීම අරඹන ලදී.

1907 මැයි
බුද්ධගයාවේ හින්දු මහන්තා විසින් බුරුම විශ්‍රාම ශාලාවෙන් ජපාන බුදු පිළිමය ඉවත් කිරීම පිණිස බුරුම විශ්‍රාම ශාලා නඩුව පවරන ලදී.මේ නඩුව බොහෝ කලක් දිග් ගැස්සී තිබී,අන්තිමට රජයේ භාරකාරයාගේ වාර්තාවක් මත මහන්තාට වාසි වන අන්දමට තීන්දුව දෙන ලදී. මේ පිළිමය එතැනින් ඉවත් කර ගැනීමට බෞද්ධයන්ට සිදුවිය. 1896 සිට 1910 පෙබරවාරි  මස දක්වා රැඳී සිටි භික්ෂූන් වහන්සේට ද එතැනින් ඉඩත්ව යෑමට සිදුවිය.

1908 ජුලි
හොනොලුලුවෙහි මේරි ෆොස්ටර් මැතිනියගේ පරිත්‍යාග මුදලින් කල්කටාවේ බනියපුකර් පටුමගෙහි පිහිටි නිවාසය මිලදී ගන්නා ලදී.

1912
ජාතික ප්‍රබෝධ ව්‍යාපාරය ආරම්භ කිරීම සහ රට පුරා සංචාරයෙහි යෙදීම.

1913
ජපානය හා හොනොලුලුවට යෑම සඳහා පිටත්වීම, 1913 ජුනි මාසයෙහි දී ෆොස්ටර් මැතිනිය හමුවීම හා නිදහස් ආරෝග්‍ය ශාලාවක් පිහිටුවීම පිණිස අනර්ඝ පරිත්‍යාගයක් ලැබීම.

1914
තම පියා විසින් තමාට දෙන ලද ඩාලි පටුමගෙහි පිහිටි නිවාසය මල්ලිකා  සන්ථාගාර යන නමින් බෞද්ධයන්ගේ  ප්‍රයෝජනය සදහා කැප කිරීම.

1914
ෆොස්ටර් රොබින්සන් නිදහස් ආරෝග්‍ය ශාලාවක් විවෘත කිරීම.

1915
මහා බෝධි විදුහල මල්ලිකා සන්ථාගාරයට ගෙන යෑම.

1915 මැයි
ලංකාවේ කැරලි කෝලාහල ඇති වීම, බොහෝ බෞද්ධයෝ වෙඩි කෑහ. 1915 ජූනිමස සිට 1920 දක්වා වු කාලය තුළ ධර්මපාල තුමා කල්කටාවෙහි රඳවනු ලැබීය.

1915 ජූලි
විහාරයක් තැනීම පිණිස කල්කටාවේ, අංක 4, කොලේජ් ස්ක්වෙයාර්හි ඉඩමක් මිල දී ගැනීම.

1916 ජූලි
කල්කටාවේ විහාරයක් තැනීමට යතොත් සර්වඥ ධාතුන් වහන්සේ නමක් මහා බෝධි සමාගමට තෑගී කිරීමට සූදානම් බව දන්වමින් ඉනිදීය රජයෙන් පණිවුඩයක් ලැබීම.

1918 ජූලි
අංක 4, කොලේජ් ස්ක්වෙයාර්හි විහාරයක් තැනීමේ වැඩ ආරම්භ කිරීම.

1920 නොවැම්බර්
විහාරය තනා නිම කරන ලදුව බෙංගාල ආණ්ඩුකාර රොනල්ඩ්ෂේ සාමීවරයා විසින් උත්සව ශ්‍රීයෙන් විවෘත කරන ලදී. විහාරය වෙත ධාතූන් වහන්සේ රැගත් උත්කර්ෂවත් පෙරහරක් ආණ්ඩුකාර නිවාසයේ සිට ඇරඹිණ.

1922 නොවැම්බර්
එක්සත් ප්‍රදේශ වල ආණ්ඩුකාරවර ශ්‍රීමත් හා කෝට් මහතා විසින් විහාරයක් තැනීම පිණිස බෙනාරිසයේ සාරානාත්හි මුල් ගල තබනු ලැබීම.

1922 ජූලි
1915 කැරලි සමයෙහි ලංකාණ්ඩුවේ නියෝගයකින් අත්හිටුවන ලද “ සිංහල බෞද්ධයා “ පත්‍රය නැවත ආරම්භ කිරීම.

1923 ජූලි                                                                 
ඩොලර් 1,50,000 ක මුදලින් මේරි ෆොස්ටර් ආර්යා ස්ථීර භාරකාර අරමුදල පිහිටුවීම.

1925 සැප්තැම්බර්
සැන් ෆ්රැන්සිස්කෝවෙහි රැඳි සිටි මේරි ෆොස්ටර් මැතිනිය හමුවීම සඳහා ඇමෙරිකාව බලා පිටත් වීම, එම මැතිනය හමුව සාදරයෙන් පිළිගනු ලැබීම, ලන්ඩන් බෞද්ධ ධර්මදූත සංගමයට පවුම් 61 ක මාසික පරිත්‍යාගයක් කිරීමට පෙරොන්දු වීම.

1925 දෙසැම්බර්
ඇමෙරිකාවේ සිංහල බෞද්ධයෙකු වු කිරා මහතා විසින් නිව්යෝර්ක් නගරයේ ශාලාවෙහි සංවිධානය කරන ලද රැස්වීමක දේශනයක් පැවැත්වීම.

1926 ජනවාරි
බ්‍රිතාන්‍යෙය් W5, ඊලිංහි ෆොස්ටර් නිවාසයෙහි ස්ථීර මූලස්ථානය පිහිටුවීම, මේ නිවාසය මිල දී ගන්නා ලද්දේ සිය පියාගේ බූදලයේ භාරකාරයන් වන එච්. දොන් කරෝලිස් සමාගමේ මුදල්වලින් සහ ෆොස්ටර් මැතිනිය විසින් කරන ලද පෞද්ගලික පරිත්‍යාගයකිනි. ඉඩම සහ නිවාසය මිලදී ගැනීමට පවුම් 2,600 ක් ගෙවන ලදී.

1926 දෙසැම්බර්
බ්‍රිතාන්‍ය බෞද්ධ ධර්මදුත සංගමයට මුදල් එකතු කර ගැනීම පිණිස ලංකාවට පැමිණීම.

1927
ඉන්දියාවට පෙරළා යෑම සහ සාරානාත්හි මූලගන්ධකුටි විහාරයේ ඉදිකිරීම් කටයුතු ඇරඹීම.

1930
මූලගන්ධකුටි විහාරයේ ඉදිකිරීම් කටයුතු සම්පුර්ණ කිරීම.

1931
අවසන් වරට ලක්දිවට පැමිණීම සහ අනගාරික ධර්මපාල භාරකාර අරමුදල පිහිටුවීම.
1931 ජූලි 13
සිරි  දේවමිත්ත ධර්මපාල යන නමින් පැවැදි බිමට ඇතුළු වීම.

1933 ජනවාරි 16
උපසම්පදාව ලැබීම.

1933 අප්‍රේල් 29
බරණැස සාරානාත්හි දී අපවත්වීම. උන් වහන්සේගේ අවසන් වදන් වූයේ “මට නැවත උපදින්නට ලැබේවා..... බුදුරජාණන් වහන්සේගේ ධර්මය ව්‍යාප්ත කිරීමට විසිපස් වරක් උපදින්නට මට ලැබේවා“ යනුයි.